2011-05-12 දින ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී ගරු රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් පවත්වන ලද කතාව

2011 ජුනි මස 01 දින

රාජ්‍ය අංශය කාර්යක්ෂම මහජන හිතකාමී සේවාවක් බවට පත් කරවීමේ අරමුණින් කළමනාකරණ ප්‍රතිසංස්කරණ සස‍ද පිහිටුවා ඇති බව ද, එම සංසද මඟින් රාජ්‍ය සේවාවේ පවතින දුර්වලතා ඉවත්කොට රට ඉහළ ආර්ථික ඉලක්කයන් කරා ගෙන යාමට හැකි බව ද අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

 

කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසද ලේකම්වරුන්ගේ /කැඳවුම්කරුවන්ගේ වැඩමුළුවේ දී ඇමතිවරයා මේ අදහස් පළ කලේය.

 

මෙරට රාජ්‍ය සේවාව යහපත් තත්වයක පවතින බවත්, රට පිළිබඳ හැගිමක් ඇති නූතන ලෝකය හා ගමන් කිරීමට කැමැත්තක් ඇති රාජ්‍ය සේවකයින් බහුතරයක් අතරේ ඊට එරෙහිව ගමන් කරන සුළුතරයක් ද සිටීම හේතුවෙන් පසුබෑමක් නොවන බවත් හෙතෙම කීය. සිය අමාත්‍යාංශය හරහා රාජ්‍ය ආයතන යම් වෙනසකට ලක් කිරීම සඳහා හැකි උපරිමයෙන් කටයුතු කරන බව ද ඇමතිවරයා එහිදී සිහිපත් කළ අතර ඒ මහතා මෙසේද කීය.

 

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අපේක්ෂාව වන්නේ ආකල්පමය වෙනසක් තුළින් රාජ්‍ය හා පෞද්ගලික අංශ සියල්ල නඟා සිටුවීමයි. ඒ සඳහා රාජ්‍ය ආයතන සතුව යම් ආකෘති තිබෙනවා. ඒවා ප්‍රයෝජනයට ගනිමින් සේවා පරිසරයක් තුළ විශාල පරිවර්ථනයක් කළ හැකි බව මා විශ්වාස කරනවා.

 

එවැනි ගුණාත්මක වෙනසක් සඳහා මූලාරම්භය විය යුත්තේ කුඩා ක්‍රමවේදයන් හරහා මහා පරිමාණ වෙනස්කම් රැසක් ඇති කිරීමයි. ඒ සඳහා තාක්ෂණය උපයෝගී කර ගත යුතුය. පැය 24 පුරා ක්‍රියාත්මක රාජ්‍ය සේවයක් සියළුම ආයතන තුළ ඇති කර ජනතාවට ලබා දෙන සේවය ද විධිමත් කළ යුතුය. ඉන්දියාව, චීනය, ඇමරිකාව වැනි රටවල් සමග කළ හැකි තරග කළ හැකි අන්දමේ රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමේ වගකීම අප සියළු දෙනා වෙත පැවරී ඇති වගකීමකි.

 

රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජී.කේ.ඩී. අමරවර්ධන, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් ඩබ්ලිව්.ඒ චූලානන්ද පෙරේරා ඇතුළු රාජ්‍ය නිළධාරිහූ මේ අවස්ථාවට සහභාගී වූහ.

 

 

01 02 03

Copyright © 2012 Ministry of Public Management Reforms. All Rights Reserved      

Solution by : Lankacom