MRC ව්‍යාපෘතිය නවමු අදියරකින් ඉදිරියට......

රාජ්‍ය  ආයතන තුල පිහිටුවන ලද කළමනාකරණ  ප්‍රතිසංස්කරණ සංසදවල (MRC’s) ක්‍රියාකාරීත්වය බල ගැන්වීම සහ ක්‍රියාවලි ප්‍රතිනිර්මාණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් 2014.02.25 දින රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පවත්වන ලදී. එම සාකච්ඡාව රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ  ලේකම්, ඩබ්.එම්. බන්දුසේන මහතාගේ හා අධ්‍යක්ෂ (ව්‍යාපෘති), ප්‍රසාද් පියසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පහත ආයතනයන්හි නියෝජිතයන්ගේද සහභාගීත්වයෙන් පැවැත්විණි.

01. වාරිමාර්ග දෙපාර්තමේන්තුව
02. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
03. ආයතන අංශය - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
04. කම්කරු දෙපාර්තමේන්තුව
05. සමාජ සේවා දෙපාර්තමේන්තුව
06. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
07. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය
08. බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව
09. මධ්‍යම පරිසර අධිකාරිය

මෙම සාකච්ඡාවේදී,  
• මෙම ආයතනවල කළමනාකරණ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සිංගප්පූරු සිවිල් සේවා ආයතනයේ  සහාය ලබාගැනීමටත්,
• සේවාලාභී අවශ්‍යතාවයන් සැලකිල්ලට ගෙන ක්ෂණික ප්‍රතිඵල ලබාදීමට හැකි ප්‍රවේශයකින් ඉදිරියේදී කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසද කාර්යයන් සිදුකිරීමටත්,
• ආරම්භක පියවර ලෙස තම ආයතනය මඟින් සැපයෙන සේවාවන් අතරින් සේවා කාණ්ඩ 10 ක් හඳුනාගෙන එම සේවාවන්ට අදාල ක්‍රියාවලි  (work process) සකස් කර ඉදිරිපත් කිරීමටත් තීරණය විය.

එසේ එවනු ලබන ක්‍රියාවලි සංවර්ධනය කිරීම, ප්‍රතිනිර්මාණය හෝ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මීළඟ වැඩමුළුව පැවැත්වෙනු ඇත.

 

Copyright © 2012 Ministry of Public Management Reforms. All Rights Reserved      

Solution by : Lankacom